වෙසක් කාලයේ වෙසක් කූඩු සෑදීමට කුඩා කාලයේදී අපි මහත් ඇල්මක් දැක්වූවෙමු. වෙසක් මස ඇරඹෙනවා සමඟම අප එයට සූදානම් වූයේ එය මහත් විනෝදයක් ගෙන දුන් නිසාවෙනි. අට පට්ටමකට අවශ්‍ය උණ බට කපා ගමේ ඇති රබර් වත්තකින් ඔට්ටපාළු ගලවා කූඩු බැඳීම එකල බාල මහලු කාගේත් විනෝදාංශයක් විය.
පාසල් යන අවදියේදී ගුරු - මව්පියන් අත්වැඩ දෙනතුරු බලා සිටියේ නොඉවසිල්ලෙනි. ඒ පසුදා පාසලට ගෙන යන නිර්මාණය අන් කවරටත් වඩා හොඳ නිර්මාණයක් බව ගුරුතුමියට පෙන්වීමටය. පිරිමි දරුවන් ඒ සඳහා වඩාත් ඇළුම් කළේ වාහන සාදාගෙන යෑමටය. කොහේ හෝ කඩේකින් කාඩ්බෝඩ් පෙට්ටියක් රැගෙන ගොස් වාහනයක අනුරුවක් කපාගෙන ගමේ ඇති රබර් වත්තකින් රබර් කිරි පොල්කට්ටක් ගෙන ගොස් වාහන අනුරුව ඇලවීමට අපි ඉමහත් ඇල්මක් දැක්වූයෙමු.
අද වනවිට ඔට්ටපාළු ගලවා වෙසක් කූඩු බඳින අයද, රබර් කිරිවලින් වාහන අනුරුව අත්වැඩවලට සාදන පොඩ්ඩන් සිටීද යන්න අපි නොදනිමු. අප මේ කතා කරන්නේ වෙසක් කූඩු සහ ගෙදර අත්වැඩ ගැන නොව එම ඔට්ටපාළු සහ රබර් කිරි දායාද කළ රබර් කර්මාන්තයට අද අත්වී ඇති ඛේදනීය ඉරණම පිළිබඳවය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන අතිරේක බෝගයක් වන රබර් ගසෙහි උපත දකුණු අමෙරිකාවේ ඇමේසන් වනාන්තරය තුළ සිදුවී ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ රබර් ගසෙහි විකාශය වසර 140ක් දක්වා වූ අතීතයට දිවයන්නකි. Sir Henri Vickham මහතා 1876 වසරේදී මෙරටට රබර් ශාකය හඳුන්වාදීමේ පුරෝගාමියා ලෙස සැලකෙයි.
අද වනවිට ශ්‍රී ලංකාවේ ඇති රබර් ඉඩම් ප්‍රමාණය 130,000කි. ජාතික නිෂ්පාදනයට වැඩිම දායකත්වයක් දක්වන 68% පමණ වූ කුඩා රබර් වතු හිමියෝ අද වනවිට රබර් මිල පහත වැටීම හේතුවෙන් මහත් අසීරුතාවයට පත්ව සිටිති. මහ බැංකුව විසින් නිකුත් කළ මෑතකාලීන ආර්ථික ප්‍රවණතා නම් වාර්තාවට අනුව මෙම වසරේ පළමු මාස 06ක කාලය තුළ පසුගිය වසරට සාපේක්ෂව ක්‍රේප් රබර් නිෂ්පාදන මෙට්‍රික් ටොන් 7760ක් දක්වා 27% පහළ බැස ඇත. එමෙන්ම ෂීට් රබර් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 23947ක් දක්වා 5.4%කින් පහළ ගොස් ඇත.
රබර්වල සහතික මිල සම්බන්ධයෙන් පැන නැගී ඇති මෙම ගැටලුවත් සමඟ රබර් කිරි කපන්නන්ගේ හිඟයක්ද පවතී. මේ වනවිට රබර් කිරි කිලෝවක මිල රැ.270කි.
රබර් කර්මාන්තයේ පැන නැගී ඇති මෙම ගැටලුව සම්බන්ධයෙන් සමස්ත ලංකා කුඩා රබර්වතු හිමියන්ගේ සංගමයේ සභාපති ඩී.ඩී. කීර්තිරත්න මහතා දේශයට මෙලෙස අදහස් පළ කළේය.
රබර්වල ස්ථාවර මිල තවමත් ක්‍රියාත්මක වී නැහැ. මෙම රජය පසුගිය මාර්තු මාසයේදී සහතික මිල ක්‍රියාත්මක කරනවා කිව්වත් ඒ සඳහා නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුණේ නැහැ. එම හේතුවෙන් කුඩා රබර්වතු හිමියන් දැඩි අපහසුතාවයට පත්වී තිබෙනවා. නිසියාකාර මිලක් නොමැතිවීමෙන් රබර් කිරි කපන්නන්ට ගෙවීමට නියමිත මුදල ගෙවන්න බැහැ. ඒ හේතුවෙන් රබර් කිරි කපන්නන් අඩුවී තිබෙනවා. මේ හේතුවෙන් වසර 140කට අතීතයට දිව යන්නා වූ රබර් කර්මාන්තය කෙමෙන් කෙමෙන් අභාවයට යන බව තමයි මට පෙනෙන්නේ.
රබර් කර්මාන්තයට ඇතිවී තිබෙන මෙම ඉරණම පිළිබඳව වලල්ලාවිට ප්‍රදේශයේ කුඩා රබර්වතු හිමිකාරණියක් වූ විමලා සූරියආරච්චි මහත්මිය පැවැසූ අදහස් මෙසේය.
රබර්වල මිල රු.270ක් වගේ මිලට තමයි අපිට අලෙවි කරන්නවෙලා තියෙන්නේ දැන්. අක්කර එකකින් රබර් කිරි කිලෝ දහසයක් දාහතක් වගේ තමයි කපන්න පුළුවන්. ඉතින් රබර් කිලෝ එකක් රු.270කට අලෙවි කළාම කිරිකපන අයට රු. 250ක් වගේ තමයි දෙන්න පුළුවන්. එම හේතුවෙන් කිරි කපන්නන් එම මුදලට වැඩ කිරීමට කැමති නැහැ. රබර් කිලෝ එකක් රුපියල් 400කට තිබුණ කාලේ අපි කිරිකපන උදවියට රුපියල් 600ක් පමණ ගෙව්වා. ඒත් දැන් එහෙම කරන්න බැරි වී ඇති නිසා කිරි කපන්නන්ගේ අඩුවක් තියෙනවා.
ගාල්ල දිස්ත්‍රික්කයේ කුඩා රබර්වතු හිමියකු වූ එච්.ඩී. ප්‍රේමදාස මහතාද රබර් කර්මාන්තයට ඇතිවී තිබෙන ඉරණම ගැන මෙලෙස කීය.
රබර්වල සහතික මිල රුපියල් 350ක් 400ක් කළා නම් අපි සෑහීමකට පත්වෙනවා. රබර් කිරි කපන එකෙන් දෙකෙන් පංගුවක්ම අපි ලබා දෙන්නේ එම කිරිකපන අයට. ඒ තත්ත්වය තුළ රබර්වල තිබෙන මෙම මිල සමඟම කිරිකපන පුද්ගලයන් අපිට හොයාගන්න බැරිවෙලා තියෙනවා. දැන් රබර් කිරි කපන්න වෙලා තියෙන්නෙත් අපිටමයි. අක්කරයක් දෙකක් තිබුණොත් යන්තමින් කපාගන්න පුළුවන්. ඒත් අක්කර දෙකට වැඩි නම් කොහොමද අපි තනියෙන් රබර් කිරි කපන්නේ. අපි බොහොම අසීරුතාවයට පත්වෙලා ඉන්නේ මේ හේතුව මත.
මෙලෙසින් මිල අඩුවීම නිසා රබර් කිරි කපන්නන්ගේ අඩු බව හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික් කිහිපයකම රබර් වගාව අනතුරට පත්වී ඇත.
ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය උදෙසා රබර් වගා කර්මාන්තය මෙහෙවමු යන රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ දැක්මද රබර් වගා කර්මාන්තයේ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක වර්ධනය උදෙසා නෛතික විධිවිධාන ක්‍රියාත්මක කිරීම, මූල්‍ය සහනාධාර කෘෂි යෙදවුම් සහ ව්‍යාපෘති සේවා සැපයීමට කැපවෙමු යන ඔවුන්ගේ මෙහෙයද වචනයට පමණක් සීමා නොකොට ජාතියේ අවශ්‍යතාවයක් වූ රබර් ගොවියාගේ හෙට දවස අඳුරුවන දිනය වැළැක්වීම අදාළ දෙපාර්තමේන්තුවේ වගකීම බව අපි අවධාරණයෙන් සිහිගන්වමු.
♦ හසිත් අංජන